Skip to main content

කොලෝලෝ වරෙව් ගොං ගහන්න :: :: seuslsla.blogspot.com


හැත්තෑ හතට පස්සෙ ගම රට හොඳටම වෙනස් වුණා. නිදහසේ වෙනස් වෙන්නට ඉඩ නොදී රටට සුනාමියක් වගේ වෙනසක් ගෙනැත් අතෑරියේ ඡේ.ආර්.. පුංචි සන්දියේ අපි කඩෙන් ගත්තෙ ලූණු, කරවල හා පරිප්පු වගේ දේවල් විතරයි. මිරිස් ගත්තෙම නෑ. කඩවල විකුණූ මිරිස්වලට කිව්වේ 'කඩේ මිරිස්' කියලා. සමහර අය රට මිරිස් කියලත් කිව්වා. ගමේ අල වර්ග එමටයි. දෙහි අල, තුම්මස් අල, කිරි අල, රටල, සෙවෙල් අල මේවා අතර ප්‍රසිද්ධයි. අර්තාපල් කඩෙන් ගන්න නිසා කිව්වෙ 'කඩේ අල' කියලා. අවුරුදු දවස්වලට තමයි ගෙවල්වලට කඩේ අල ගේන්නෙ. වගාවන් අතර ප්‍රධාන වුණේ කුඹුරු ගොවිතැන. ගමේ කොල්ලො කුරුට්ටෝ වඩාත් සතුටු වෙන්නෙ ගොයම් කපන කාලෙට. ඒ කාලෙට මීහරක් හරිම ඩිමාන්ඩ්. කල් වේලා ඇතුව පිංතුගෙන් නැත්නම් ජෝන්ගෙන් හරක් වෙන් කරගන්නවා. ගොයම් කැපිල්ල එකම මඟුලක්. ගොයම් කැපීම, උප්පිඩි එකතු කිරීම, කමතේ අළුවං වැඩීම, කොළ ඇදීම, කෙවිටි කැපීම, පැල් හැදීම මේ දාහක් වැඩ අතර ප්‍රධාන වෙනවා. කොළ පාගන්නෙ රෑට. පළවෙනියෙන් ඉවතදාන මැඩුවං (පිදුරු) වලින් අපි පැලක් හදලා වහගන්නවා. ගිනි මැලයක් පත්තු කර ගන්නවා. නැතුව ඉන්න බෑ සීතල.
කොළේට හරක් ඔට්ටු කරන්නෙ වැඩිහිටියෙක්. උකුණු දැත්ත බෙල්ල පිටු පසින් හරහට තියා ගන්නවා. දෑත අඹරවා උකුණු දැත්ත වටේ දමාගෙන හඬනගා තාලෙට ගායනා කරනවා. "කොල්ලො වරෙව් ගොංගහන්ට බත් දෙඤ්ඤං කන්ට......" කියලා. ගොංගහනවා කියන්නේ හරක් එළවනවට. ගොංගහන්ට අත්දැකීම් තියෙන්න ඕනෑ. මුළු ගොයම පුරාම හරක් දක්කන්ට ඕනෑ. කලාතේ (පිට අයිනෙ) යන හරකට කමත පෑගුණොත් වැලි එකතු වෙනවා බැතට. ඒක වළක්වා ගන්ට ගොංගහන කෙනා වග බලා ගන්න ඕනෑ. මුදුනා එකතැන කැරකුණොත් "වෙනිය ගහනවා." ඒ කියන්නේ ගොයම් කකුලේ එතිලා දිගට හා මහතට ලණුවක් වගේ ඇඹරෙනවා. ඒක වළක්වා ගන්ට ඕනෑ. ඒ වගේම ගොම් පස් අල්ලන්ට ඕනෑ. කොළේ යන මීවා ගොම දානවා. ඒවා බැතට එකතු නොවෙන්ට මතු පිටින් මැඩුවම් ටිකක් ගුළිකරලා ඒකට ගොම ටික අරන් විසි කරන්නට ඕනෑ. ගමේ කොයි කාටත් මේවා පුරුදු වැඩ. කොල්ලො එකතු වෙලා වට ගණනක් ඛෙදා ගෙන ගොංගහනවා. ඉතුරු කොල්ලො ටික හරක් පස්සේ රවුමට "කොණ්ඩිතං" ගගහ යනවා.


හඳ තියෙන දවසක් නම් තවත් වැඩේ අලංකාරයි. මී ගස් වලට හා වැල වරකා ගස්වලට වවුල්ලූ එන්නේ සිය ගණනින්. ඒ දර්ශනය තවත් අලංකාර වෙනවා කණාමැදිරියෝ හින්දා. උන් අල්වන්නට පස්සෙන් යන එකත් අපේ ක්‍රීවාවක්. බැත වේළා ගෙට ගත් පසුව නැවත කුඹුරු කොටන තුරු ඉපනැල්ල අපේ ක්‍රීඩා පිටිය වෙනවා. දහවල් අව්වට පිදුරු කඩා (ඉහිරවා) වේළාගෙන රෑට පිදුරු මිටි බඳිනවා. ගෙදර හෙවිලි කර ගෙන ඉතුරු පිදුරු විකුණනවා. පිදුරු බඳින්ටත්, විකුණන්ටත් සල්ලි ගෙවන්නෙ "කට්ටා" (මිටි) ගාණට.

මේ මතක කාලේ මට හිටියෙ අයියා විතරයි. හැම වැඩකම නායකත්වය අරගන්නෙ අයියා. ගම්පොළ පෙරහර බලන්න මං එක්ක ගියෙත් ඔහු. ඒ කාලේ ගම්පොළට යන්නේ පයින් ඇවිදගෙන. පැය දෙකක් විතර යනවා මේ පා ගමනට. ටවුමට ගිහින් ආවාම හොඳ ගණං. ගම්පොළට ගංවතුර ගැලූවමත් පයින්ම ගිහින් බලලා එනවා. බස්තියන් පයින් ගම්පොළ ගියේ අවසාන වතාවට 1983 දී. ඡේ.ආර්.ගේ ජාති ආල කාරයෝ දෙමළ කඩවල් ගිනි තිබ්බට පස්සෙ ඒක බලන්ට අපි ගියේ විස්සෝපෙන්.
ගමට පිටින් මිනිස්සුන් ආවනං ඒ "මනිබඩු" කාරයෝ. සල්ලි දීලා ගන්න නිසයි ඒවට මනිබඩු කිව්වේ. මාල වළලූ, කරාබු වගේ "ඉමිටේෂන්" දේවල් තමයි මේ අය ගෙනාවෙ. කරාබු, එනසාල්, සාදික්කා එකතු කරන්නට මුස්ලිම් මුදලාලිලා ආවා. සෙනරත් පාඬිකෝරාල මගේ යාළුවා. ඔහු එක 'නානා' කෙනෙකුට නමක් තිබ්බා "මුරිනානා" කියලා. ඔහු අහනවා "මොකක්ද මුරිනානා" කියලා. ඒ නානා වසාවාසිවලට කිව්වේ "වෂවේසී" කියලා. ගමේ තැනින් තැන කුකුල්ලූ හිටියා. බිත්තර එකතු කර ගෙනයන්ටත් මුදලාලි එනවා. අපේ අම්මා බිත්තර තම්බන්නේ නෑ. හතර අපායේ යයි කියලා බයට. අපි මේ පව් වැඩේ කළේ හොරෙන්. පස්සෙ පස්සෙ ෆාම් බිත්තර ආවා. ඒවයින් පැටව් හැදෙන්නෙ නැති නිසා මගේ පියා ෆාම් බිත්තරවලට කිව්වේ "බෞද්ධ බිත්තර" කියලා. පන්සලේ පොසොන් නාට්‍යයක රඟපාන්ට මාව තෝර ගත්තා. ලැබුණු චරිතෙ රජුගේ චරිතය. නාට්‍යය පුහුණු වෙන අතරතුරේ තවත් ගමේ යමක් කමක් ඇති පවුලක අයෙක් පන්සලට ඇවිත් හාමුදුරුන්ට බැණ අඬ ගැහුවා. හේතුව ඒ පවුලේ දරුවෙක් ඇමැති චරිතය දක්වා ලඝු කිරීම. ඔහු ඇමැති චරිතය අත ඇරියා. මං මගේ රජකම රැකගත්තා.
ගමේ ඉඳහිට මෙහෙම නාට්‍ය පෙන්නුවා. වඩාත් ජනප්‍රිය සොකරි නාට්‍යය යි. ඒකට වේදිකා හදන්නේ නෑ. රචනා කරන නව නාට්‍යය වේදිකාවක් හදලා පෙන්වනවා. ගමේ වේදිකාවක මෙහෙම නාට්‍යයක් පෙන්වනකොට ප්‍රධාන නළුවා හඳුනා ගත් අයෙක් "යකඩ හිරමණේ" කියලා කෑ ගැහැව්වා. ඒ, නළුවාට බනින නම. රජ ඇඳුමෙන්ම පරුෂ වචන කියාගෙන ඔහු ප්‍රේක්ෂකාගාරයට කඩා වැදුනා. නාට්‍යය එතනින් ඉවරයි. පේරාදෙණිය වළේදී "සුබ සහ යස" පෙන්වූ දවසක ඔය වගේම කොල්ලෙක් හූ කිව්වා. වටයක් කැරකුණු නළුවා සයිමන් නවගත්තේගම මේ ප්‍රේක්ෂකයන් අතරෙ ඉන්නෙ එක නරියෙක් විතරයි නෙවෙයි කියා නාට්‍ය කරගෙන ගියේය. ගමේ නළුවන්ට එබඳු හික්මීමක් නැත.
දැන් සොකරිත් නැත. අං අදින්නෙත් නැත. ගමට එන බස් එකෙන් කට්ටියම නගරයට යනවා. කුඹුරු කැලෑ වෙලා. යල මහ කොටන්ට ඉලන්දාරීත් නෑ. මහ ගෙදර මං විතරයි. අයියත් පිටමං වෙලා. නංගි විවාහ වෙලා. ඒ ඉතින් අතීතකාමයෙන් හිත පුරවා ගෙන ජීවත් වෙනවා. හැම ගමකම හැම ගෙදරකම කාට කාටත් ඔය වගේ ඇති. විශ්ව ගම්මානය හූනියමක්. අපේ කම්, මිත්‍රකම් සියල්ලම උදුරාගෙන. බොරු ආඩම්බරයක් ඉතිරි කරලා ගිහින්. ඒත් තවමත් මී ගහට වවුලො එනවා. පුතයි, දුවයි, බිරිඳයි එක්ක මං ඒ සුවඳ විඳිනවා. මේ ගීතය ලිව්වේ කුලරත්න ආරියවංශ. සහෝදර ප්‍රේමය ගැන ලියැවී ඇති හොඳම ගීතය මේක කියලයි මං හිතන්නේ.

මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා
මී ගස් යට මී වැහි වැහැලා
බාලේ මෙන් පාන්දරින් ඇහිදින්නට යන්නට බෑ
මට තනියක් දැනෙනවා

දරට ගිහින් කුරුඳු කැලේ මඟ වැරදීලා
මං එනතුරු හඬා වැටෙද්දී
නුඹට දැනුන පාළුව දුක මෙදා මටත් මලේ
නුඹ නැතිදා මට තනියක් දැනෙනවා
පැදුරු කොටේ තුරුලූ වෙලා ගොම්මං යාමේ
හොල්මං ගැන කතා කියද්දී
මගේ ඇඟේ දැවටී ගෙන අසා සිටිය මලේ
නුඹ නැති දා මට තනියක් දැනෙනවා


Amarasiri Wickramarathna | සුනාපරන්තවාසී අමරසිරි වික්‍රමරත්න

Comments

අද තමයි මම ඔයගෙ බ්ලොග් එකට මුලින්ම ආවෙ... හරිම ලස්සන්යි හැම ලිපියක්ම...
දිගටම ලියන්න.. ජයවෙවා

Popular posts from this blog

ලංකාවේ පළමු බෞද්ධ රජතුමා රාවණ රජ තුමායි :: The King Rawana was the 1st Buddhist king in Sri Lanka:: රාවණ රජු මරුණාද? ලේසර කිරණ භාවිතයෙන් යුද කල ලක් හමුදාව

  හෙළ අසුර රාජ වංශය - අවසන් කොටස   අපි අපේ ගමනේ රාවණ රජු දක්වාම පැමිණියානේ. හිරන්‍ය කාශ්‍යප රජුගෙන් පසුව නැවතත් තුන් ලෝකයම පාලනය කලායැයි සදහන් වෙන රජකෙනෙක් තමයි රාවණ රජු. අදටත් ලංකාවේ කිසිම රජකෙනෙක් හා නොබැදුන තරම් ස්ථාන රැසක් රාවණ රජු හා බැදී පවතිනවා. අද අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේ රාවණ නම් ඒ ශ්‍රේෂ්ඨ නරපතියා ගැන විමසලා බලලාම ඉදිරියට යමු. විශ්‍රවස් කියන් ඉතා බලවන්ත මුණිවරයා හා කයිකේෂි කියන කුමරිය තමයි රාවණ රජුගේ දෙමාපියෝ වෙලා තියෙන්නෙ. මෙහිද හිංදු සාහිත්‍යෙය් සදහන් වන කතා පවුතක් තමයි, කියිකේෂි කියන්නේ දෛටිය නැමති රාජධානියේ රජකල සුමාලී කියන රජුගේ දියණිය. සුමේලි ඉතා බලගතු රජෙක් වුණ නිසා තම උරැමය බාරදෙන්න සුමේලිට වඩා බලගතු කෙනෙක් තමයි සුමාලි රජු තම දියණියට විවාහ කර දීමට සෙව්වෙ. අවසානයේ ඒ වන විට ලොකයේ කිසිම කෙනෙක් එහෙම නැති වුණ නිසා මුණිවරයන්(තාපසවරුන්) අතරින් බලවත්ම මුණිවරයෙක් වුණ විශ්‍රවසට තම දියණිය සුමාලි විසින් විවාහ කරලා දෙනවා. රාවණ කියන්නෙ මේ යුවලගේ පුත්‍රයා. මේ වන විටත් විශ්‍රවස මුණිවරයාට තම රකුස් බිරිද වු රකාට දාව උපන් කුවේර නැමති පුත්‍රයාත් මේ වන විට ඉදලා තියෙනවා. ...

සිංහලය, සතරවරම් දෙවිවරු හා ආටානාටිය සුත්‍රය.

ලංකාවේ සිටින්නා වූ සියළු බෞද්ධයන් ආටා නාටිය බණවරය හෙවත් ආටා නාටිය පිරිත පිළිබදව අළුත් දෙයක් නොවේ. නමුත් බොහෝ බෞද්ධයන් මෙය යකුන් එළවීම පිණිස බුදුන් වහන්සේ දේශනා කල පිරිතක් බව වැරදියට වටහාගෙන ඇත. සැබෑ හෙල ඉතිහාසය සොයා යන ගමනේදි ආටානාටිය පිරිත ඇසුරෙන් හෙළිවෙන අපේ ඉතිහාසයේ තවත් අපි නොමවිමසු පැතිකඩක් විමසමු. ලංකාවේ සැබෑ ඉතිහාසය සොයා යාමට අවශ්‍ය ඉතා හොඳ මුලාශ්‍රයක් ලෙස ත්‍රිපිටකය සලකන්න පුළුවන්. ඝෝෂ වැනි ද්‍රවිඩ භික්ෂූන් විසින් ත්‍රිපිටකයේ සරළ කොටස් ඉවත් කල හෙල බසේ සිට අපට නුහුරු පාළියට පර්වර්තනයද මෙලෙස අපේ සබෑ ඉතිහාසය සැගවී යාමට එක් හේතුවක් වන්න පුළුවන්.මේ සදහා ත්‍රිපිටකය සිංහලෙන්හී ඇති ආටානාටිය සුත්‍රය උපයෝගි කරගමු. එලෙසම බුදුන් වහන්සේ උපන් ස්ථානය ඉන්දියාව යැයි බොහෝ බෞද්ධයන් විශ්වාස කිරීම නිසාද, මෙම ත්‍රිපිටක ධර්ම කරුණු ඉන්දියාවේ සිදු වූවායි සිතීම නිසාත් මේ කරුණු යටපත් වන්නට හේතු වී ඇති බව පෙනේ. මාතෘකාව අවතීර්ණ වීමට පෙර ගැටළුවක් හා එයට පුංචි ඉඟි කිහිපයක් දීලාම ඉන්නම්. බුදුරජානන් වහන්සේ උපන්නේ කොහෙද? (දඹදිවේ වර්තමාන රට කුමක්ද ?) බුදුවරයෙක් ලොව පහල වීමට පෙර බලන්නා වූ පස්මහා බැලුම් ...

හෙළයන්ගේ න්‍යෂ්ඨික අවි භාවිතය::Ancient Nuclear Warfare @seuslsla.blogspot.com)

මතු වූ නව හෙළ ඉතිහාසය   දෙවන කොටස මේ ආකාරයටම රාමායණයේ එන මහා භාරතයේ (සුර-අසුර යූද්ධයේ) ගැන සදහන් කිරීමේදී මෙසේ දැක්වේ. It was weapon so powerful That it could be destroy Erath in an instant, A grate soaring sound in smoke and flame, And on its sits death අද එතැන් සිට ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය විනාශ වු යේ හෙළයන්ගේ න්‍යෂ්ඨික අවිභාවිතය නිසාද?   මේ කාලේ වන විට මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයන් වල කෑනීම් අවසන් කරලා තිබිලා තියෙනවා. හදිස්සියේ ඇති වූ විනාශයකින් එම ශිෂ්ඨාචාරය විනාශ වූ බව තමයි නිගමනය කරලාතියෙන්නෙ. ඒ වුණාට මේ හදිසි විනාශය මොකක්ද කියලා පුරාවිද්‍යාඥයන්ට නිගමනය කරන්න අමාරුවෙලා තියෙනවා. ඒ නිසා සින්දු ගගේ හදිසි පිටාරයක් නිසා හෝ ඇති වූ භූමි කම්පාවක් නිසා මෙම විනාශය වන්න ඇති කියලා උපකල්පනයක් පමණක් ගොඩනැගිලා තියෙනවා.       1944 අගෝස්තු මාසයේදී ජපානයට ඇමරිකාව න්‍යෂ්ඨීක අවි භාවිතයෙන් කල පහරදීමේ (පරමාණු බෝම්බය) අත්දැකීම සමග මහාභාරතයේ එන යුද්ධය ගැලැපීම කාගෙත් විමතියට හේතු වෙලා තියෙනවා. න්‍යෂ්ඨීක අවි ප්‍රහාරයෙන් හිරෝෂීමා හා නාගසාකීහිදී මියගිය අයගේ මෘත ශ...