30.5.11

කුණුවෙලා මැරෙනවද?:: Wanna dirty dead? ::seuslsla.blogspot.com

මරණය කියන්නේ මේ ලෝකයෙ කොයි කාටත් බිය උපදවන දෙයක්. කවුරුත් කැමැති වෙන්නෙ දුක් කරදර නැතුව ජීවත්වෙන්නටයි. දවසක් මං අම්පාරෙ නගරයෙ තැනක යාළුවෙකු ආ නිසා නවතින්ට ගියා. හෝටලයේ නාන තටාකයේ විනෝද වෙමින් සිටි තරුණයෙකු දිහාට මගේ හිතගියා. මේ තරුණයා ඇතුළු පිරිස තරමක් සෝමපානය කරලයි හිටියේ. මගෙ හිතගිය තරුණ හාදයා නීතිඥයකු බව කතාවෙන් තහවුරු වුණා. තමන්ගේ සේවාව ගැන කියූ ඔහු කී කතාවක් මගේ සිතගත්තා.

''මැරිලා කුණුවෙන එක වෙනම දෙයක්. නමුත් කුණුවෙලා මැරෙන්ට එපා.'' ඔහු යාළුවන්ට දුන් උපදෙස මාත් හිතට ගත්තා. සමහර අය ජීවත් වූ ක්‍රමවේදය නිසා මැරිලත් ශාප විඟනවා. උදේ රෑ බණ කියන, බණ අහන රටේ සිද්ධ වෙන දේවල් අරුමයි.

යුද සමයේ සුනාපරන්තය හරි නපුරු පළාතක්. ඒ කාලෙ අපේ පඩියට 'මර බිය දීමනාව' (Risck Allowance) කියලා එකක් එක්කාසු කරලා තිබ්බා. මේගැන කතාකරන්ට රැස්වීමක් දැම්මා. රැස්වීම අහවර වෙලා තවත් කියන්ට යමක් තිබේදැයි උපකුලපතිතුමා විමසුවා. මං අත ඉස්සුවා.


 ප්‍රශ්නය ඉදිරිපත් කරමින් මං මගේ මරබිය දීමනාව දෙගුණ කළ යුතුයයි කියලා ඉල්ලා සිටියා. සියලු දෙනාම විමතියෙන් මා දෙස බැලුවා. හේතුව කුමක්දැයි කවුරුත් විමසුවා. ටිකක් බරපතළ විදියට කටහඟ අවදි කොට වටපිට බලා මං රගුපරන් පෙන්නුවා. ඔහු යාපන වැසියෙක්. විශ්වවිද්‍යාලයෙ වචනයෙන් කියනවා නම් තලයෙක්. ඔහු මගේ රූමා. (Room mate) යාපනයේ දෙමළ අයෙක් සමග එක කාමරේ ඉන්න හින්දා මට තර්ජනය වැඩියි. කවුරුත් මගේ විහිළුව තේරුම් අරං හිනා වුණා. ''කොටියා සමග වාසේ'' කවුදෝ කියනවා ඇසුණා. සභා රැස්වීම එතැනින් ඉවර වුණා. රගු අදත් මගේ හොඳම මිතුරා. මට මර බිය දැනුණේ නොදන්නා අය නිසා මිස රගුපරන් හින්දා නොවෙයි. දන්නා අයට කවුරුත් බය නෑ. දරුවෙකු අම්මාට හෝ අප්පට බය වෙන්නෙ නෑ. අප කැඳවන තැනකට එන්ට අපේ දරුවන් සූදානම්. මේ ලෝකෙ ඉන්න අහිංසකම පිරිස තමයි දරුවන් කියන්නෙ. වාද, භේද, කුහකකම් දරුවන්ට නෑ. මං කියන්ට යන්නේ දරුවො දෙන්නෙකුට වෙච්ච සිද්ධියක්.

කලබල කාලේ ඔලුවිල් වරායෙ තෙන්නකෝන් අයියා සමග මං යනවා රෑට නතර වෙන්න බලගල්ල මිත්‍රයා ළඟට. ඔහු එරගම උළු කම්හලේ කළමනාකරු. එතැන පොලිස් මුරපොළක් තිබ්බා. ඒකේ එස්.අයි මහත්තයා අරුලානන්ද. රෑට ඔහු අපට එකතු වෙනවා. අප නතර වුණේ වටේට පොලිස් රැකවලුන් සිටි නිල නිවාසයක. අරූල් අප සමග බොහොම රෑ වෙන තුරුම ඉන්නවා. ඔහු සතුටින් හා විනෝදයෙන් සිටි කෙනෙක්. කාලය ගෙවී යද්දී තෙන්නකෝන් අයියා කොළඹ මහපොළ පුහුණු මධ්‍යස්ථානයට මාරු වෙලා ගියා. බලගල්ලත් කොළඹට ගියා. ඊට පස්සේ එරගම මගෙන් දුරස් වුණා. විටින් විට අරූල් මතක් වුණත් ඔහු සම්බන්ධ කරගන්නට බැරුව ගියා.

අරූල් ඒ කාලේ ඇතුළත කොහොම වෙනස් වුණාද කියලා මං දන්නෙ නෑ. අප දුටු අරූල් තුළ තවත් නොදුටු මිනිහෙක් ඉන්නට ඇති. ඔහු තම කල්මුණේ නිවසට ගිහින් අවුරුදු දහතුනක් හා අවුරුදු නමයක් වයසැති දරුවන් දෙදෙනා අක්කරපත්තු පාරේ මුරපොළේ නිල නිවසට කැඳවාගෙන ඇවිත් තිබුණා. නිවසට ගිය මොහොතේ බිරිඳ අත දරුවා රැගෙන ස්වාමියා සමඟ නෑවිත් පිටවී තිබුණා. මුරපොළේ සේවකයා දුම්වැටි කීපයක් ගේන්නට යයි පවසා පිටත් කළ අරූල් ඔඩොක්කුවේ වාඩි වී සිටි සුරතල් දරු දෙදෙනාගේ හිස්වලට පිස්තෝලයෙන් වෙඩි තබා තිබුණා. ඉන්පසුව ඔහු තම හිසටද ඉන් උණ්ඩයක් පිටකරගෙන තිබුණා. වෙඩි සද්දය ඇසී පිරිස එන විට තිදෙනාම මියගිහින්. දරු දෙන්නා පිය සෙනෙහස විඟ සැටි මෙහෙමයි. පුංචි කාමරයේ බිම ලෙයින් තෙත් වී තිබුණා. නාඟනන කෙනෙක් දුටු විට බියගන්නා දරුවන් පියා සමග එන්නට ඇත්තේ කොතරම් විශ්වාසයකින් යුතුවද? පුරාණ දෙමළ කතාවක එන නල්ලතංගාල් හා ඇගේ දරුවන් මෙන් මේ දරුවන් නෙළුම්මල් වී නොපිපෙනු ඇත. මේ දරුවන්ට ජීවිතය විඟන්නට නොලැබුණේ කිමද? මේ සිද්ධියෙන් මං මහත් කම්පාවට පත්වුණා. පියෙක් කැටුව යන දරුවෙක් දකින හැම මොහොතකම මට මේ සිද්ධිය මතක් වෙනවා. බලගල්ලත්, තෙන්නකෝනුත් මේ වග දැනගන්ට ඇත්තේ පස්සෙ කාලෙ.

වෙස්සන්තර දරුවන් දුන්නේ බුදුවෙන්ට. එහෙමවත් ඔබට පුළුවන්ද දරුවන් දෙන්ට. සතෙක්වත් එහෙම කරනවද? ජාලියයි, ක්‍රිෂ්ණජිනයි එදා අම්මා බලාගන්නැයි පියරජතුමාට කිව්වා. මන්ද්‍රී දේවිය ඇවිත් අඟ අඟා දරුවන් දෙන්නා හෙව්වා. වෙස්සන්තර මුනිවත රැක්කා. බුදුබව පතාවත් මම මගේ දරුවන් නොදෙමි. නූතන වෙස්සන්තර කෙනෙක් නිර්මාණය කරන රත්න ශ්‍රී පතන්නේ අඹුදරුවන් බුදුවියයුතු බවයි. නූතන වෙස්සන්තර එහෙම පාරමී පුරන කාලයක අරුලානන්ද ඔබ කොහිද?

නුඹ නොදෙමි එතෙර රටටා
දරු නොදෙමි වාල් කමටා
ඇඟ මස් පුදා රකිම්මැයි
නොපුරමි එහෙත් පෙරුම්දම්
බුදු වෙන්ට ඕනෑ නුඹලා
මට නිවන් මඟ කියල්ලා 



Amarasiri Wickramarathna | සුනාපරන්තවාසී අමරසිරි වික්‍රමරත්න

2 ප්‍රතිචාර: