24.11.11

අලජ්ජි බලි යාගය


බණ්ඩාරනායක මහතා වෙඩි තබා ඝාතනය කළාට පසුව මෙරට භික්ෂූන්ට විරුද්ධව සමාජයේ හඬක් මතු විය. මෙම ඝාතනයෙන් පසුව භික්ෂු විරොධී කතා තැන් තැන්වල පළ විය. එදා චීවරය දඩමීමා කරගෙන ඇතැම්හු තම සිතැගි ඉටු කර ගත්තේ ය. අදත් එබඳු දේ ඕනෑ තරම් සිදු වේ.

අපේ හාමුදුරුවන්ගේ නම ගෝවල විමලධම්ම ය. උන්වහන්සේ ගම්පොළ රතනාසරහි වාසය කරති. පෞද්ගලික ව්‍යාපෘති සඳහා චීවරය ගන්නවාට විරුද්ධව ක්‍රියා කිරීමට උන්වහන්සේ මැලි නොවෙති. මහ රෑ ගම්පොළ බස් නැවතුම්පොළේ, ගාමිණී අයියගෙ කඩේ (ශ්‍රියානි හෝටලය) ළඟ හාමුදුරු නමක් ඩාන්ස් කරන ප්‍රවෘත්තියක් අසන්නට ලැබිණි. එතැනට ගිය අපේ හාමුදුරුවෝ ඔහු පොලිසියට අල්ලා භාර දීමට ක්‍රියා කළහ. 


සිඟාකමින් පන්සල් ගාණේ යන භික්ෂුවක් දිනක් මා සිටිය දී පන්සලට වැඩියහ. වහා ම හුනස්නෙන් නැඟී සිටි අපේ හාමුදුරුවො ආගන්තුක හිමියන්ට තැලුහ. ගිහියෙක් වූ මටත් පෙර උන්වහන්සේ ආගන්තුකයා බීමත්ව සිටි බව තේරුම්ගත්හ. "හිඟා කාපන් ආගම, සිවුර ඒකට යොදා ගන්න එපා. අපේ දායකයන්ගේ ගෞරවය රකින්ට ඕනෑ" යැයි ආගන්තුකයාට අවවාද කරමින් උන්වහන්සේ පැවසූහ. බෝවල විමලධම්ම හාමුදුරුවන්ගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ගැන ලියන්නට කොතෙකුත් දේ තිබේ. සියලූ චීවරධාරීහු භික්ෂූහු නොවෙති යන පාඩම මම දනිමි.

බර්ට්‍රම් මලලගම මිතුරා විවිධ පරාසවල මිනිසුන් ඇසුරු කිරීම නිසා අත්දැකීම්වලින් පෝෂිතව සිටින්නෙකි. සුනාපරන්තයට මා යන එන ගමන්වල දී අපි එකට ආ ගියෙමු.

ඔහු මහජන බැංකුවේ සහකාර මහ කළමනාකාරවරයකු වීමට පෙර කෑගල්ලේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ලෙස කලක් සේවය කළේ ය. මහමාර්ග විධායක ඉංජිනේරු දිසානායක සහ තැපැල් ස්ථානාධිපති ඔහුගේ මිත්‍රයෝ වූහ. එවකට කෑගල්ලේ පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඉතා සද්ගුණවත් මහත්මයෙකි. සාදයක දී වත් ඔහු මත්පැන් තොල ගෑවේ නැත. කතාව වට්ටාරමේ නොයවා තේමා කතාවට දැන් පිවිසෙමි. මලලගම විවිධ මට්ටමේ පුද්ගලයන් ඒ ඒ අයගේ තැන බැස ඇසුරු කරන්නෙකි. අවට පිහිටි රජමහ විහාරයක් ඔවුහු ඇසුරු කළහ. උදාගොඩ පැත්තේ හාමුදුරු නමක් විහාරය පාලනය කරමින් සිටියහ. පන්සලට මිතුරන් රැස්කොට සංග්‍රහ කිරීමට හාමුදුරුවෝ ප්‍රිය කළහ. පන්සලට රැස්වන මිතුරෝ සිංදු කියමින් සතුටු වූහ.

"ඉස්සර විදිහට දුවපැන යන එක
මතකද තහනම් කරපු දිනේ
සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද
කියන්න පොඩි හාමුදුරුවනේ"

මිතුරන් ගායනා කරන විට සිවුර ගලවා දමලා හාමුදුරුවෝ 'අඩෝ උඹලා මට නේ ද හින්ට් ගහන්නෙ' කියමින් නැටුමට එකතු වූහ. ප්‍රසන්න ජයකොඩි හැදූ සංඛාරා චිත්‍රපටය ඔබ බලන්නට ඇති. එය භික්ෂුවකගේ ගිහි සිත අපූරුවට රූපරාමුවලට නගා තිබිණි. ගිහි සහ පැවිදි යන අවස්ථා දෙක අතර දෝලනය වන චරිතය චිත්‍රපටයේ දී ප්‍රසන්න උසස් කාව්‍යකට නගා තිබිණි. නමුත් අද මා විෂය කර ගන්නා මේ පැවිදි චරිතය ඔබ අවඥාවට ලක් කරනු නොඅනුමාන ය. දේවල්වලින් ආවරණය නොවී මේ චරිත විමර්ශනය කිරීමට ඔබට හැකියාව ලැබේවා. චිත්‍රපටයක හෝ කවියක කරන දෙය කෝලමක දී කරන්නට බැරිය. ඔබ ද කාව්‍යකට යොදා ගන්නට මම මගේ අත්දැකීම් ලියමි.

තවත් දිනක මා කියන පන්සලේ විහාර මළුවේ සංගීත සංදර්ශනයක් සංවිධානය කර තිබිණි. හාමුදුරුවෝ තම මිතුරන්ට සිව්පසයට වැඩි මනක් දේවලින් ද සංග්‍රහ කළහ. උන්වහන්සේට සියල්ල වදාළහ. සංගීත සංදර්ශනය දැන් උච්ච ස්වරයෙන් ඇසේ. වෙනදා කාමරයේ පවත්වන සංදර්ශන අද මළුවේ වේදිකාවේ දී මහා සෙනඟක් ඉදිරියේ ප්‍රදර්ශනය වේ. මාඔය නිසංසලව ගලා බසිමින් තිබිණි. හිසේ බඹන ගතිය ඉහළ ගිය හාමුදුරුවන්ට වේදිකාවේ ගීතයක් ගායනා කිරීමට වුවමනා විය. සිවුර දා ගත් උඳුගොඩ ගායකයා බීමත්ව වේදිකාවට යෑම නතර කිරීම උගහට විය. ආසන්නයේ දී යට කී මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඔහු අල්ලා ඇඳට තබා බැන්දේ ය. ඔහු රැහැනින් මුදන ලද්දේ පසුදින අලූයම් කාලයේ දී ය. සිහිය ලබා බලන විට සංගීත සංදර්ශනය අවසන් වී තිබිණි. එදා ඔහු වේදිකාවට යැව්වා නම් ගායකයන්ටත් හාමුදුරුවන්ටත් වඩා හොඳ අවබෝධයකට පැමිණෙන්නට ඉඩ තිබිණි. මේ හාමුදුරුවරුන් ගිහි වී දැන් රියැදුරකු ලෙස සේවය කරමින් යැපෙන බව දන්නේ මලලගම මිතුරා පමණි. අදත් ඔහු හමු වුව හොත් මලලගමට මිතුරෙක් ම වනු ඇත. ඒ ඔහු දුකේදීත් සැපේදීත් සිටින හොඳ නරක අනුව බෙදා මිනිසුන් ඇසුරු නොකරන නිසාවෙනි.

බණ්ඩාරනායක අගමැතිතුමා ඝතානය කිරීමෙන් පසුව 'දුශ්ශීල පිළල සංහාරය හෙවත්' 'අලජ්ජි බලි යාගය' නමින් පොත් පිංචක් නිකුත් විය. මෙය ලියා තිබුණේ මලල්ගොඩ යැයි මතයක් මට ඇත. එහි කවි කිහිපයක් තැනින් තැන මතකයේ ඇත. මාගේ නැන්දම්මා 'සුමනා වන්නිආරච්චි'ට ඇවිටිලි කළ පසු ඇය කවි කිහිපයක් දුරකථනයෙන් සුනාපරන්තයට කතා කර කීවා ය. ඇයට දීර්ඝායුෂ ලැබේවා!

ලස්සන තරුණියන් සමග රහස් ගමන් යන
විශ්වාසෙට දරු ගැබ වූ කල උන් වනසත
පිස්තෝලය සිවුරු පොටේ යටින් සඟව ගත
දෙස්ස කපමි පළමු වඩිය ගහන්ට හෙණ හත
සොඳුරු පහස දෙන ස්ත්‍රීන් ඇඳක් ගනු
මදුරු දැලෙන් ඇඳ වටකර වසා ගනු
පැදුරු මෙට්ට කොට්ට ද ඇතිරිලි එළනු
සොඳුරු කතක් තව ඇඳ පසෙකින් තබනු

ලි අමරසිරි වික්‍රමරත්න :: Amarasiri Wikramarathne

0 ප්‍රතිචාර: