22.10.11

ස්ත්‍රී පුරේ...The City of Ladies


ALL ANIMALS ARE EQUAL. BUT SOME ANIMALS ARE MORE EQUAL THAN OTHERS''
(සියලූ සතුන් සමානය. නමුත්, සමහර සතුන් අනිත් උන්ට වඩා වැඩියෙන් සමානය) මේ උධෘතය GEORGE ORWELL ගේ ANIMAL FARM කෘතියෙන් උපුටා ගත්තකි.

ඉහත කියමන පරම සත්‍යයකි. අයිතිවාසිකම් ගැන කියන විට හැමෝම සමානය. එහෙත් තෝරු මෝරු බඳු බලවත් පුද්ගලයන් වැඩියෙන් සමානය. අධ්‍යාපනය ගත්තාම කොළඹ ඉස්කෝලයත් මොනරාගල හුලංදාව ඉස්කෝලයත් අතර සමානකම් මීට හොඳ නිදර්ශනයකි. ඉස්පිරිතාල ගත්තත් එහෙමයි. මේ සමානකම නිකං සංකල්පයක් විතරමයි. හරියට ඇමැතිතුමා ගේ පුතෙකුයි මේ ලියන මායි ගත්තම අහවල් සමාන කමක්ද?

නුවරඑළියේ දිස්ත්‍රික්කයේ වලපනේ, මතුරට වගේ ප්‍රදේශත් බදුල්ල දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශත් වැඩියෙන් හාද වෙලා තිබුණෙ මහියංගනය සමගයි. මේ ප්‍රදේශ සමන් දෙවියන්ට අයිති වෙලා තියෙන්නේ. එදා බල ප්‍රදේශ, අද ප්‍රාදේශීය සභා පළාත් සභා ක්‍රමයට වෙනස්. දෙවියන්ට අයත් පළාත් පසුව ප්‍රානීන් (ප්‍රා.ආ.නි) ප්‍රාදේශීය ආදායම් නිලධාරීන්ටත් පසුව දිසාපතිවරුන්ට අයත් විය. කාට මොනවා අයිති වුණත් ජනතාව හැමදාම දුක් විඳිති. ජෝර්ජ් ඕවල්ගේ ඉහත කතාව අපේ භාෂාවට පරිවර්තනය කළොත් කියන්නට වෙන්නේ කොළඹට කිරි අපට කැකිරි කියාය.

ගෙදර ඉඳන් මා සුනාපරන්තයට එතෙර කරන්නේ මහජන බැංකුවේ අම්පාර ප්‍රාදේශීය කළමනාකරු ජී.ඒකනායක මිතුරාය. රජමාවතේ එන අපට කීර්ති බණ්ඩාරපුරදී ආර්.එම්. ජී. කරුණාරත්න එකතු වෙයි. ඔහු අම්පාර වාරිමාර්ග ඉංජිනේරු ලෙස සේවය කරයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උගත් 'ගැමිකරු' ගේ ගම වටඹේ නම් ගමයි. වටඹේ ගම නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ මැතිවරණ කොට්ඨාසයේ ඔය පළාත කෝරළයේ තිබ්බටුගොඩ වසමේ පිහිටා තිබේ. වටඹේ අතිශයින්ම ග්‍රාමීය ප්‍රදේශයකි. තිබ්බටුගොඩ, රඹුකේ ගමවෙල, වැරැල්ල, එගොඩකන්ද, මැදඅරාව, කැටකඳුර ආදී ගම් වටඹේ ගම වටා පිහිටා තිබේ. එකල මේ ප්‍රදේශවල වාහන ධාවන වූයේ නිල්දණ්ඩාහින්න හා වතුමුල්ල (දැන් වලපනේ) අතර පමණි. පුංචි කාලෙ නිල්දණ්ඩහින්න ගම ගැන මා ඇසුවේ 'ඉතිං ඊට පස්සේ' කතාවේ කැළුම්, දේදුණු සමඟ අමනාප වී නිල්දණ්ඩාහින්නට ගිය ප්‍රවෘත්තිය කියවීමෙනි. 'සිත්තර' පත්තරේ කතාවේ දුටු මේ ගම ඇත්ත වශයෙන්ම සුන්දර ගමකි.

මේ ගම්වල අයට ප්‍රධාන ගමනක් තිබුණි. ඒ පෝයට මහියංගනේ යාමයි. මේ ගමනට වාහන පහසුකම් තිබුණේ නැත. යම් හෙයකින් වාහනයකින් යනවා නම් වතුමුල්ලේ සිට මහනුවරට ගොස් එතැනින් දහඅට වංගු පසුකර මහියංගනයට යා යුතුය. මාසිකව මහියංගනයේ යන පයින් ගමන බොහෝ විට සිදුවූයේ මාර්ග දෙකක් ඔස්සේය. තෙරිපැහ සිට කන්ද කැටියට පයින් ගොස් බදුලූ මහියංගන බස්වලින් යන්නේ නම් පයින් යන දුර ටිකක් අඩුය. අනෙක් මාර්ගය මැද අරාව, කැටකඟර, බෝගුනේ හරහා මිනිපෙට පැමිණ මහියංගනේට වැටී ඇත. මේ මාර්ගයේ මිනිපෙට ආ විට ඉතිරි දුරට අවශ්‍ය නම් බසයක් ගත හැකිය.

පයින් ගමන් යන අය මහියංගනේ බලා පිටත් වන්නේ පාන්දර හතරටය. තනි තනිව පයින් යන්නේ නැත. පොහෝ දිනට කලින් දා සියලූ දෙනා රැස් වී ගමන ආරම්භ කරති. එළිය වැටෙන තුරු හුළු එළියෙන් ගමන් කරති. පොල් කොළ මිටි බැඳ හුළු අතු සාදා ගැනීම ගමේ පුරුද්දකි. පසුව උණ බටයකට ලාම්පු තෙල් පුරවා කටට මුඩ්ඩක් ගසා දැල්වීම ආරම්භ වූයේ භූමිතෙල් සුලබ වීමත් සමගයි. පන්දම් පත්තු කරගෙන පෙරහරක් ලෙස පිටත් ව මේ කණ්ඩායමට දවුල් හා මේ ගමනට දවුල් හොරණෑ ඇතුළත් වූයේ කැලෑ මාර්ගයේ හමුවන හා හොරණෑ පංතියක්ද අලින්ගෙන් බේරීම සඳහාය. මේ කණ්ඩායමේ හුදා මාමා නොනවත්වා හොරණෑ වැයීමට දක්ෂය. නහයෙන් ගන්නා හුස්ම මුවින් හොරණෑවේ ඉපියා හරහා යැවීමෙන් ඔහු ද්විත්ව කාරියක නිරත වෙයි. දවුල් කණ්ඩායම් හතරක් පමණ සිටි මේ පෙරහරේ දවුල් වැයූ නිපුනා, සුද්දනා, පොඩියා, දැනට ජීවතුන් අතර ඉන්නවාද? නැද්ද, කියන්නට ගැමි කරු දන්නේ නැත. සෝමසිරි මැදගෙදර ගායකයා කරුලගෙ ගමේ වුණත් පයින් ගමනට හවුල් වූවා දැයි නොදනිමි.

පෙරහරින් මහියංගනයට එන අය දින තුනක් නැවතී ඉන්නේ ගස් යටය. මෙහිදී වෙනත් පළාත්වලින් එන අය සමඟ දවුල් තරග පවත්වති. එදා කුරුඟ ඔය ඔස්සේ වැටී තිබුණු අඩිපාර අද රන්දෙණිගල රජමාවත ලෙස වර්ධනය වී ඇති බවක් පෙනේ.

දැන් රන්දෙණිගල ජලාශයට යටවී ඇති සැරැසුම් තැන්න ප්‍රදේශයේ ස්ත්‍රීපුරය නම් තැනැක් තිබේ. එහි ඇති උමඟක රජතුමාගේ බිසෝවරුන් සඟවා සිටි බව කියැවේ. ඉස්සර පයින් ගිය පළාතේ දැන් මහපාරවල් අතුරා තිබේ. කරු ගැමි වුණාට දැන් ඔහු යන්නේ ප්‍රාඩෝවකිනි.

සොර බොර වැවේ නා කිතුලේ ලැගි කොක්කු
පිලී නැතිව පත් පිරුවට ඇඳ ගත්තූ
රිදී නැතිව රත්තරනින් තුඩ ලත්තූ
සොර බොර වැවේ දිය පිට පීනති කොක්කූ

කන්ද උඩින් පෑවේ තාරකාවා
නළා හඟන් පිම්බා වැනි සෙබාවා
සතර වරන් දෙවියන් කළ උපාවා
මයියංගනේ වැඳලා යන්ට ආ



 
 Amarasiri Wickramarathna | සුනාපරන්තවාසී අමරසිරි වික්රමරත්න

0 ප්‍රතිචාර: