26.9.11

බ්‍රිස්ටල් පෙරහැර යන මග::

''යානෙ වරුම් පින්නෛ. මනි ඕසේ වරුම් මුන්නෛ.''

දෙමළ භාෂාවේ මේ ප්‍රකට කියමන මතක් වෙන හැමවිටම මට මහනුවර ඇසළ පෙරහර මතක් වෙයි. 'මිණි ගෙජ්ජි සද්දෙ පළමුව ඇසෙන අතර, ඊට පසුපසින් අලියා එන' බව මේ කියමනේ අරුතයි. මහනුවර අවට උපන් අපේ ළමා, තරුණ කාලයේ අසිරිමත් වකවානුව ඇසළ සැණකෙළිය සමග උදාවෙයි. දළදා පෙරහරට වඩා අපට වැදගත් වන්නේ බෝගම්බර පිට්ටනියේ පවත්වන ඇසළ මේලාව. අඩි අසූවක් උස කුලුනකට නැග ශරීරයට ගිනිතබාගෙන කුලුන පාමුල වතුර ළිඳට පනින දර්ශනය අපට පුදුමයකි. ශරීරයේ ගින්න නිවාගෙන ඇය ළිං පඩියට ගොඩවී ප්‍රේක්ෂකයන්ට ආචාර කරන විට අපි ප්‍රීති ඝෝෂා නැඟුවෙමු. එදා අපට සෙංකඩගල ප්‍රකටව පෙනුණේ දළදා මාළිගාව නිසා මෙන්ම රේඩියෝ සිලෝන් එක නිසාය. හන්තානේ පිහිටුවා තිබුණු විකාශන මධ්‍යස්ථානය මේ නමින් හැදින්වුණා.
 කඳු මුදුනේ රේඩියෝ සිලෝන් එක දක්වා මාර්ගයේ රාත්‍රියට විදුලි බුබුළු දල්වා තිබුණි. අද හැම කන්දකම විදුලි ආලෝකය තිබේ. ගස්වලටත් වඩා විවිධ කණු හා කුලුනුය. පෙරහර කාලෙට වෙනම බස් සේවාවක් යෙදවේ. එකල තිබුණේ ලංගම බස් පමණකි. උණ ගස්වලින් දිගු පෝලිම් බඳිනු ලැබේ. කෑම බීම රැගෙන වෙලාසනින් ගොස් ඉඩක් අල්ලාගෙන පෙරහර එනතුරු එතැන වාඩි වී සිටිමු. පෙරහර ආරම්භවන වෙඩිල්ල ඇසුණු පසුව ඉවසිල්ලක් නැත. පෙරහර යන මාර්ගය දැක්වීමට එකල ප්‍රකට බි්‍රස්ටල් සිගරට් නිෂ්පාදකයෝ ඉදිරිපත්ව සිටියහ. පෙරහර යන මාර්ගය දෙසට ඊතලයක් යෙදූ පුවරු පෙරහර යන මඟ දැනගැනීම සඳහා සවිකර තිබිණි. එක දිගට ඒ පුවරුව කියවන්නේ නම් ''බි්‍රස්ටල් - අද පෙරහර යන මඟ'' යනුවෙන් කියැවේ. දැන් මතට තිතය. පින් සිද්ධ වේවා! දැන් බස්වල, සිනමාහල්වල දුම් උරන්නන් නැත.

දළදා මාළිගාවේ රහස් වැඩ තිබේ. මේ රහස් කවුරුවත්ම දන්නේ නැත. සමහර විට දියවඩන නිලමෙතුමාවත් නොදන්නවා ඇත. දළදා වහන්සේ වෙනුවෙන් ගායනා කරනු ලබන ගීත විශේෂයක් තිබේ. මේවා එක් පරපුරක් කටවහරින් ගෙන එනු ලබයි. ඒවා ලිවීමට හෝ පටිගත කිරීමට ඉඩ නොලැබේ. කාට හෝ පාඩම් කර ගත නොහැකි වන පරිදි මේවායෙහි ගායනය සකස් වී තිබේ. පෙර මේ ගී හාරදාහක් පමණ තිබූ බව මහාචාර්ය පරණවිතානයෝ විශ්වාස කරති. මේ ගී ගයන විට වාදනය සඳහා නරේද්‍රසිංහ රජතුමා උඩැක්කි දෙකක්, පන්තේරු දෙකක් සහ තාලම්පොටක් පරිත්‍යාග කොට ඇත. අදත් මේවා වාදනය කෙරේ.

දඹදෙණි අස්න, මහාවංශය හා දළදා සිරිත වැනි පොත්වල 'විජ්ජතුන්' ලෙස හඳුන්වා ඇත්තේ පුරාණයේ දළදා ගී ගැයූ අයයි. පසුව කවිකාර මඩුව ඔස්සේ පැමිණ අද දක්වාම මේ ගී ගයන්නේ විජ්ජතුන්ගෙන් පැවැත එන පිරිසයි.
අද ගැයෙන දළදා ගීත ආදරය, සමාජ අසාධාරණය, ජාතිකාභිමානය වැනි තේමාවන් උසුලයි. අහුබුදුහුගේ ''සෙංකඩගල පුර දළදා බුදුරැස්'' ගීතය ජනප්‍රිය වුවත් දුර්වල රචනාවකි. 'සිංහල දේසෙක සිංහලයන්' පමණක් ගීයට විෂය වී තිබේ.

ආදර ගීයක් ලියන සමුද්‍ර වෙත්තසිංහ ද වැඩේ වරද්දාගෙන තිබේ. ''දළදා හාමුදුරුවනේ ඇසළ පෝය දවසේ - අලුත් සහල් මංගල්ලෙට මං තනියෙන් ආවේ.'' අලුත් සහල් මංගල්ලේ ඇසළ පෝයට පවත්වන්නේ නැත. දුරුත්තේ එය යෙදෙයි. එහෙත් එය ඇසළ උත්සවය තරම් ප්‍රකට එකක් නොවේ. සමාජයේ සියලු තැන්වලට ඒ ඒ පුද්ගලයෝ දළදා වහන්සේගේ සම්බන්ධයක් ගොඩනගා ගනිති. සියම්, රාමඤ්ඤ, අමරපුර ප්‍රධාන කොට ඇති නිකායන් හෝ උඩරට පහතරට වැනි බෙදීම් හෝ කුල මල තැකීමක් බුද්ධාගමේ නැත. බුදුන්ගේ දර්ශනය චතුෂ්කෝටිකය. ''ඇත්තේ ද නැත. නැත්තේ ද නැත.'' ඉගැන්වීම ලංකාවේ කුල භේදයට අදාළ කරගමු.

පහතරට අය උඩරට ගැන සිතන්නේ වෙනස් විදියකටය. මූදු රස්සාව බුදු දහමට යටත් ද නැත. ඒත් ඔවුහු බෞද්ධයෝ ය. නුවරට වඩා දකුණ උණුසුම් දේශගුණයකට යටත්ය. එහි ඇත්තන් කළුපාටය. හමේ පාට හිතේ පාට නොවේ. මේ සියලු සමාජ තත්වයන් රත්න ශ්‍රී ගේ ඇඟිලි තුඩු අගින් මෙසේ බේරුණි.

''පාත ඉඳන් අපි ආවේ
නාමල් පූජා කරන්න
දළදා හාමුදුරුවනේ
පාත මාලයට වඩින්න

හීල් හෙවණෙ ඉඳගෙන බෑ
හේන් කුඹුරු වැඩ කරන්න
අඟපත කළු උණත් අපේ
කිලි කුණු නැති හිත බලන්න

මූදු ගියා - ලෙලි තැළුවා
පිළී ගඳින් බෑ මිදෙන්න
ඒත් අපේ මල් සුවඳයි
එපා බාර නොගෙන ඉන්න

Amarasiri Wickramarathna | සුනාපරන්තවාසී අමරසිරි වික්රමරත්න

2 ප්‍රතිචාර: