26.8.11

උන්වහන්සේලා අපවත් කළහ::seuslsla.blogspot.com


දරුණු විදියට යුද්ධය පැවැති කාලයේ මා නැවතී සිටියේ අම්පාර හාඩි ආයතනයේ අධ්‍යක්ෂ අමරදේව අප්පුහාමි මහතා සමඟ ඔහුගේ නිල නිවාසයේය. එහිදී දුරකථනයෙන් කිරිදිවැල සෝමරතන හිමියන් හඳුනා ගන්නට ලැබුණි. ඉන් කල්යාණ මිත්‍ර හිමි නමකගේ ඇසුර ලැදිමි. යාන වාහන පහසුකම් නැතිව අතර මං වූ වෙලාවක විද්‍යානන්ද පිරිවෙනට යන මම පාංශුකූල රෙද්දක් ඇඳගෙන රාත්‍රිය එහි ගතකොට ඇත්තෙමි. දිගාමඩුල්ලේ මෙම පිරිවෙන ආරම්භ කළෝ හෑගොඩ ඉන්දසාර හිමියෝය.

1932 ජනවාරි 08 වන දින උපන් වීරසේන කුමාරගේ පියා තෙලිකඩ පල්ලියගුරුගේ කරෝලිස් අල්විස්ය. ගාලූ දිස්ත්‍රික්කයේ වැල්බඩ පත්තුවේ බූස්ස ආසනයේ හෑගොඩ නම් ගමේදී උපන් කුමරුවා 1944.04.07 දින හෑගොඩ ශ්‍රී නිග්‍රෝධාරාමයේදී හෑගොඩ ඉන්දසාර නමින් පැවිදි වූහ. 1953.06.10 දින මහනුවර මල්වතු විහාරයේදී උපසම්පදාව ලබා 1956 දී අම්පාරට වැඩියහ. උන්වහන්සේ මේ සුනාපරන්තයට වඩින විට ඕවාගිරිය, දීගවාපිය, උදයගිරිය වැනි රජමහ විහාර හැරුණු විට අනෙක් සිද්ධස්ථාන නටබුන්ව තිබුණි. එකල මෙහි වාසය කළේ භික්ෂුන් සිව් නමක් පමණි. අද සමනබැද්ද ධම්මරතන පිරිවෙන හෙවත් වනවාස විහාරය උන්වහන්සේ මුලින්ම වැඩ වාසය කළ ස්ථානයයි. 
එකල ගල්කෝරිය ලෙන ලෙස හැදින්වූ උහන පිහිටි මෙම විහාරය හැර අම්පාර රෝහල පාරේ ශ්‍රී විද්‍යානන්ද මහ පිරිවෙන පිහිටා ඇති ස්ථානයක 1963 වසරේ වැඩම කළහ. එතැන 1966 දී විද්‍යානන්ද පිරිවෙන ආරම්භ කළහ. උන්වහන්සේ විසින් ආරම්භ කළ විහාර 40ක භික්ෂූන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා පිරිවෙන විවෘත කරන ලදී. එසේම 300කට වැඩි පිරිසක් පැවිදි කිරීමට කටයුතු කළහ.

1956 ජූනි 02 දා ජාතිවාදී කලබලය නිසා අසරණ වූ අයගේ දුක සැප සොයා බැලීම පිණිස උන් වහන්සේ මඩකලපුවට වැඩම කළහ. යන ගමනේදීත් ආපසු එන ගමනේදීත්, අම්පාරේ නතර වූහ. දිගාමඩුල්ල වන සතුන්ගෙන් පිරි වල් බිහිවූ ප්‍රදේශයක් බවට පත්ව තිඛෙනු දුටු හාමුදුරුවෝ කම්පා වූහ. සුවපහසු ජීවිතය හැරදමා දිගාමඩුල්ලට වැඩම කිරීමට උන් වහන්සේ තීන්දු කළහ. උන්වහන්සේ අම්පාරට ගෙන ආවේ තොටගමුවේ කීර්තිමත් සංඝ පරම්පාරවය. තොටගමුවේ රාහුල හිමියෝ මෙම පරපුරට අයත්හ. පින්ඩපාතයේද ධර්ම චාරිකාවේද යෙදෙමින් විහාරාරාම ආරම්භ කරමින් වාසය කරන කාලයේ දිනක් අරන්තලා වාසීහු කෲරලෙස ඝාතනය කරන ලදහ. මතක වස්ත්‍ර පූජා කොට උන් වහන්සේගේ වියදමින් මහා දානයක් පිළිගැන්වීමටත් අවසාන කටයුතු කිරීමටත් කැපවී ක්‍රියාකළ හාමුදුරුවෝ සිය ලයට ගසා ගනිමින් අපරාධය ගැන කතා කළහ.

අම්පාර නුවර පාරේ මහාවාපි විහාරයේ සිට විද්‍යානන්ද පිරිවෙනට වැඩම කළ ඉන්දසාර හිමියෝ 87 ජුනි 01 සවස 6.00ට රැස්වීමක් පවත්වා පසුදින වැඩම කිරීමට නියමිත ධර්ම චාරිකාව ගැන කතා කළහ. "අපි මේ යන්නේ අවසන් චාරිකාව වෙන්නත් පුළුවන්" යැයි කී බවද මා අසා ඇත. ලංකා ගමනා ගමන මණ්ඩලයේ අම්පාර ඩිපෝවට අයත් 60 ශ්‍රී 3599 බස්රථයෙන් 1987 ජූනි 02දා ධර්ම චාරිකාව සඳහා ඉන්දසාර හාමුදුරුවෝ වැඩියේ තවත් 38 නමක් සමගය. බස්රිය පැදවූයේ පී.ජී. සෝමපාලය. අම්පාර මහඔය මාර්ගයේ 28 වැනි සැතපුම් කණුව අසලින් තේක්ක කැලයට බසය ගෙන ගිය ත්‍රස්තවාදීහු භික්ෂූන් වහන්සේලාව කපා කොටා වෙඩි තැබූහ. නායක හාමුදුරුවෝ පොඩි උන්න්සේලාට අනතුරක් නොකරන්නැයි ඉල්ලා සිටියහ.

පස්වන සියවසේ දී "බුද්ධ පාරින්ද" නම් ද්‍රවිඩ ජාතිකයා "බුද්ධ දාස" ලෙස රජ කමට පත් වූ පුවත අප අසා ඇත. පුරාණයේ රාජාභිෂේකය සිදුකරන ලද්දේ මහා සගරුවන ඉදිරිපිටදීය. එහෙත් මෙදා සිදුවූයේ විපතකි. යුද්ධය පවතින පරිසරයේ සිට ඉන්දසාර හාමුදුරුවෝ ධර්ම ප්‍රචාරයෙහිද අසරණයන්ට සරණ වීමෙහිද නිරත වූහ. ථෙරපුත්තාභය හිමි මෙන් සිවුරු හැරදමා යුද්ධ පෙරමුණට නොගියහ.

දෙමළෙන් බණ කීමට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට ඉගැන්වූහ. "කනක් නැතුව කොහොමද බණ අහන්නේ" කියා මහගමසේකර කීවාසේ කන් නැති ත්‍රස්තවාදීහු භික්ෂූන් වහන්සේලා අපවත් කළහ. දේහයන් 31ක්ද ගිහියන්ගේ සිරුරුද ගෙනවිත් අම්පාර රෝහලේ කොරිඩෝවේ තබා තිබිණ. වෙඩිතැබීමට ලක්වූ බසයේම ලෙයින් තෙත්වූ සිවුරු, වෙඩි වැදී හිල්වුණු පාත්‍ර ආදිය මහාවාපි විහාරයට ගෙනෙඑන ලදී. අරන්තලාවේ සිට ආ බස්රථය මහාවාපි විහාරයට හරවන විට එකතුව තිබූ රුධිරය ගලා හැලී විහාර බිම තෙත් විය.

හාඩි විදුහල ඉදිරිපිට ජපන් සාම චෛත්‍යය පිහිටා තිබේ. එහි වාසය කළ ජපන් හාමුදුරු දෙනමක් ස්වකීය ශෝකය ප්‍රකාශකරනුවස් වටාපතක් බදු බෙරය වාදනය කරන්නට වූහ. ජූනි මාසය අම්පාරට උශ්ණාධිකම කාලයයි. එයනොතැකූ උන්වහන්සේලා චිතකයට ගිනි දල්වන තුරුම ශෝක වාදනය කළහ.

බලධාරීන් භූමදානය කිරීමට යෝජනා කළ දේහයන් අදාහනය කළේ එකම චිතකයකදීය. කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි කිරිදිවැල සෝමරතන හිමියෝ මේ කටයුතුවල මූලික වූ අතර පසුව පිරිවෙනේ වගකීමද බාර ගත්තහ.

භික්ෂූ ඝාතනයේ 22 වසර සිහිපත් කර පුන්‍යකර්ම සිදුකරන විට මුදල් රැස්කිරීමකින් තොරව අම්බළන්ගොඩ බටපොල පාලිත ජයසේකරයන් අතින් නිම කළ නායක හිමියන්ගේ ප්‍රතිමාවක් ඉදි කොට ඝාතනයට ලක්වූ තැන පිහිටවූයේ සෝමරතන හිමියන්ගේ මූලිකත්වයෙන් හා දායකත්වයෙනි. ඝාතනයෙන් පසුව රජය රුපියල් 25,000ක වන්දියක් පිරිනැමූ නමුත් කිසිවෙක් එය බාර නොගත්තහ. 2009 වසරේ 22 ගුණසමරුව පවත්වන විට ත්‍රස්තවාදය පරාජය වී තිබේ.

සුනාමියෙන් අනාථ වූ දෙමළ ජනතාවට හෙවන දීමට විද්‍යානන්ද පිරිවෙන ඉදිරිපත් වීම බුදු බණ ප්‍රායෝගික කිරීමකි. ඉන්දසාර හිමියන්ට වූ විපත දෙමළ ජනයා එහිදී දැනගත් විට මොනවා සිතෙන්නට ඇත්ද?

"අනිච්චාවත සංකාරා - උප්පාද වය දම්මිනෝ
උප්පජ්ජිත්වා නිරුජ්ජන්තී - තේසන් ඌප සමෝසුකෝ" (සංස්කාරයෝ අනිත්යහ. ඉපදීමෙන් නැසීමක් සොබාව කොට පවතී. ඉපිද නැසෙත්. සංස්කාරයන්ගේ සංසිදීම සුව එලවන්නේය.)

සතුරාට වුව වෛර නොකළ යුතුය. මේ සිදුවීම අරබයා පහත කව රචනා කළෝ අහුබුදුහුය.

මළ පසු එවන් හතුරා රජෙකු වැ උන්න
රජ බුහුමනින් අවසන් කිස කරවන්න
සොහොනක් පවා බඳවා හර සර දෙන්න
සැබියාවෙක් තිබිණි මෙ දැයේ දැන ගන්න







Amarasiri Wickramarathna | සුනාපරන්තවාසී අමරසිරි වික්රමරත්න

1 ප්‍රතිචාර: