23.6.11

මිනිස් පවුලට එන්න


කඳුළුවලට නමක් ගමක් ලියා තිඛෙනවා ද? නැත. කඳුළ කාගෙත් කඳුළම ය. ඒ කියන්නේ කාගේ දුකත් දුකක් ම ය. 'කඳුළ කඳුළමය කාගේ වුණත් මට' කියා ලිව්වේ චන්ද්‍රකුමාර වික්‍රමරත්න ය.

'ඉඳ ඉඳ එක වෙහෙර - විඳ විඳ දහම් මනහර
සිඳ බිඳ දුක් සසර - අහෝ ! දෙව්දත් නොදිටි මොක්පුර'

එකම විහාරයක වාසය කළත් මොක්පුර නොදුටු දෙව්දත් තෙර ගැන 'අනේ සැපයි' හෝ 'අනේ හොඳයි' නොකියා 


අහෝ! කියා කනගාටු වූ ජාතියකට අපි අයත් වෙමු. සතුරෙකුටවත් ශාප නොකළ යුතු බව මා කියන විට අම්පාර මහදිසාපති සුනිල් කන්නන්ගරයෝ ගුත්තිලයේ ඉහත කවිය පැවසූහ. සතුරන්ටත් මෛත්‍රී කළ බුදුහුගේ දරුවන් වූ අප ප්‍රවේශමෙන් සතුටු විය යුතු ය. අන් අයගේ සිත් රිදෙන දේ නොකළ යුතු ය. දැන් යුද්ධය අවසන් වී තිබේ. යළි අරන්තලාවේ දී භික්ෂු ඝාතනය නොකරනු ඇත. අතීතය ගැන කිය කියා පෙළපාළි ගියහු මහියංගණයෙන් කන්තලෙන්, මැදවච්චියෙන් එපිට නොගියහුය. දැන් ඔවුන්ට තිබූ සියලූ බාධාවන් ඉවත් වී තිබේ. අවුරුදු තිහක් යුද්ධ කළ අපි අවුරුදු හැටක් වෙහෙස වී දැහැමි සමාජයක් හදමු.

යුද්ධය නිසා දරුවෝ ද වැඩිහිටියෝ ද තරුණයෝ ද මියගියහ. මගේ ගම රට කියා දෙයක් අද නැත. ඇතොත් ඒ සිත් තුළ පමණි. විශ්වයම ගම්මානයක් වී හමාරය. එබඳු වටපිටාවක ජාතියක් රටක් ගැන කතාකිරීම සරල දේශපාලන මාතෘකාවක් විතරම ය. මා දකින එකම පොදු සාධකය මිනිසා හා මිනිස්කම පමණි. යුද්ධ කළ කවුරුත් මේ බව සිතන්නේ නම් මැනවි.

ලෝකයට හා ලෝකයාට ආදරය කරන විට පෙරළා අපට ඒ ආදරය හිමි වේ. ලෝකයා දකින්නට ආදරය කරන්නට උන් අතරට යා යුතු ය. පෞද්ගලික රියෙන් ගමන් යන සුපිරි මාර්කට්වල ගනුදෙනු කරන අයට ලෝකයා හමු නොවේ. තමන් මෙන් ම කූඩු වූ අය පමණක් හමුවේ. 'චරථ භික්ඛවේ චාරිකං' කියා බුදුන් පැවසුවේ නිකම්ම නොවේ. බහු ජනතාවගේ හිත සුව පිණිස උන් අතරට යන ලෙසයි.

යුද්ධය පැවති කාලයේ ගමන්බිමන් අසීරුය. එතරම්ම අවදානම් ය. එහෙත් ඉතින් අප යා යුතු ය. බස් ධාවනය නොවන්නේ මේ අවදානම නිසා ය. මේ වගේ දවස්වලට අපට පිහිටට එන්නේ වෑන් රථ කුලී ගමන් සඳහා යොදවන අයයි. අපි ඒවාට සල්ලි ගෙවා ගමනාන්තය සපුරා ගනිමු.

මේ සිද්ධිය වූ දවසේ වෑන් රථය පැදවූයේ නිහාල් නම් තරුණයායි. ගමන්බිමන් යාම නිසා ම අපි රියැදුරන් සමඟ යහළු වී සිටියෙමු. මහනුවර සිට අම්පාරට යාම සඳහා මේ දවසේ අපි ගමන් ආරම්භ කළේ ප.ව.5.30ට පමණ ය. අරන්තලාව ඔස්සේ මාර්ගය රාත්‍රියට වසා දමන බැවින් වන දුර්ගය ඔස්සේ බිබිල, මාපාකඩ හරහා අම්පාරට යාමට අපි පිටත් වුණෙමු. ගමනට එකතුවන අය අප හඳුනාගත්තේ වාහනය තුළ දී ය.
මා ළඟ වාඩිවී සිටියේ කුඩා දරුවෙකි. ඉදිරිපස අසුනේ මවක් තවත් කුඩා දරුවකු සමඟ සිටියා ය. මා ළඟ සිටි දරුවා ද ඇයගේ ය. මේ අය කතා කළේ දෙමළ බසිනි. රාත්‍රී 8.30ට පමණ මහියංගණය පසුකර යද්දී මා ළඟ සිටි දරුවා අම්මා අමතමින් අඬන්නට පටන් ගත්තේ ය. අම්මා දරුවාට සැර කරන්නට වූවා ය. මං හීන් සැරේ දරුවා ඇමතුවෙමි. අහන එකදු ප්‍රශ්නයකටවත් පිළිතුරු නොදුන් දරුවා හීන් සීරුවට අඬමින් සිටියේ ය. 'බඩගිනිද' මම දෙමළෙන් ඇසුවෙමි. ළමයා හිස සලා 'ඔව්' කීවේ ය. මගේ බඩ පපුව දැවී ගියේ ය. නිහාල් අමතා කඩයක් ළඟ නවත්වන්නැයි කීවෙමි. මාපාකඩ කඩයක් ළඟ දී රිය නතර විය. බැස ගිය මම බිස්කට් සහ කෙසෙල් ගෙඩි ගෙන දරුවාට දුනිමි. මව ස්තුතිපූර්වකව මා දෙස බැලූවා ය. අධික කුසගින්නෙන් සිටි දරුවා කෑමෙන් පසුව වමනය කරන්නට වූවේ ය.

අනතුරුව පැමිණියේ වෑන් ගාස්තු එකතු කරන වෙලාවයි. නිහාල් දෙමළ අම්මාගෙන් ආසන තුනකට සල්ලි ඉල්ලූවේ ය. ආසන දෙකකට ගෙවීමට ඇය එකඟ වූවා ය. නිහාල් බල කළේ ය. ඇගේ ඇස කඳුළින් පිරුණි. දෙමළ දැන සිටියේ මා පමණි. මම සුහදව කතා කළෙමි. මේ අම්මාගේ පුරුෂයා රෝගී වී මහනුවර රෝහලට ඇතුළත් කොට තිබිණි. අම්පාරට එහා බංගලාවඩි ප්‍රදේශයේ සිට දරුවන් කැටුව ස්වාමියා බලන්නට ආ ඇය ආපසු යමින් සිටියා ය. බස් ගාස්තු අත ඉතිරිව තිබිණි. වෑන් ගාස්තුව දෙගුණයකි. ආසන තුනකට ගෙවන්නට ඇයට මුදල් නැත. දහවල් ආහාරය නොගත්තේ ද අත මිට හිඟ නිසා ය.

සන්තකයෙන් ආසන දෙකකට මුදල් ගෙවා එතැන් සිට යන්නට මඟක් නැත. මහ රෑ අම්පාරේ දරුවන් සමඟ අතරමං වීමට සිදු වේ. ප.ව 5.30ට පසුව බංගලාවඩි දෙසට වාහන යාම තහනම් ය. නිහාල් සමඟ කතා කිරීමෙන් පසුව ඇය ගමන් ගාස්තුවෙන් නිදහස් කිරීමට ඔහු එකඟ විය. අම්පාරෙන් ත්‍රීවිලරයක් කතා කොට මුදල් ගෙවා දරු පවුල පිටත් කළ පසුව මට මහත් සැහැල්ලූවක් දැනිණි.

ඒ දරුවා, මව හා උක් වගාවක කම්කරුවකු වූ ස්වාමියා අද කොහේ ඇත්ද? දරුවා යුද්ධයට බැඳෙන්නට ඇති ද? මියයන්නට ඇති ද? කරුණු කෙසේ වුවත් මගේ සිතේ පින් පොතක් ඇත. එය අරින විට සිහිපත් වන මෙබඳු සිදුවීම් සිතට සහනයක් ගෙන දෙයි.
මේ යුද්ධයෙන් වඩාත් ම බැට කෑවේ දෙමළ ජනතාවයි. ඔවුහු දෙපාර්ශ්වයෙන් ම පීඩාවට පත් වූහ. දැන් යුද්ධය අහවර වී තිබේ. මිත්‍රකම් අපි වහා ළඟා කර ගනිමු. අපි ලෝකයට ආදරය කරමු. එවිට පෙරළා ලෝකය අපට ආදරය කරනු ඇත. රත්න ශ්‍රීගේ මේ පද ගායනා කරන්නේ කරුණාරත්න දිවුල්ගනේ විසිනි.
මගෙ දුවේ නුඹ අවදියෙන් නම්
මේ රැයෙහි සුන්දර වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් ඔබටමයි
 
සේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැඳි වෙලාවයි
මේ පොළොව කෙතරම් සුන්දර ද
මගේ දුව තනියම හිනා වෙයි

ඝන කළුවරට අප පෙම් කළොත්
ඉර හඳ තරුවලට ණය ගැතියි
ලොව දුන්නු දේවල් අද අපිට
හෙට ලොවට පෙරළා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරෙයි නම්
මුළු ලොවම ඔබටත් ආදරෙ






ලි අමරසිරි වික්‍රමරත්න::Amarasiri Wickramarathna


 http://seuslsla.blogspot.com

0 ප්‍රතිචාර: