20.3.11

මිනිසෙක් මිය යා යුත්තේ කුමක් වෙනුවෙන් ද? [2කොටස]

VIVA CHE!
[2කොටස]
Andrew Sinclair 
විසින් සංස්කරණය කරන ලද,
VIVA CHE!
[The Strange Death and Life of Che Guevara] 
කෘතියෙහි පරිවර්තනය
ඇල්බර්ටෝ ග්‍රෙනාඩෝස් [ALBERTO GRANADOS] මෙසේ කියයි:
අර්නෙස්ටෝ සහ අප අතර තිබූ ප්‍රධානතම සමානකමක් වූයේ ක්‍රීඩාශීලීත්වයයි. මුළු ජීවිත කාලය පුරාම චේ ඇදුම රෝගයෙන් පීඩා විඳි බව ප්‍රකට කරුණක්. එසේ තිබියදී පවා ඔහු ක්‍රීඩාවට ඇලුම් කළා. කාව්‍ය සහ ක්‍රීඩාව අතර දෝලනය වූ අධ්‍යාපනය මගින් ඔහුට අධ්‍යාත්මික උත්තේජනයක් ලැබුනා. එයින් ඔහු ශාරීරිකව ශක්තිමත් වුනා. අර්නෙස්ටෝ තුළ තිබුණු සංචාරයටත් අනතුරුදායක ක්‍රියාකාරකම් වලටත්- වූ ගිජුකම මේ ක්‍රීඩාශීලීත්වයේම දිගුවක්. ඔහු උසස් විද්‍යාලයේත් මම විශ්ව විද්‍යාලයේත් ඉගෙන ගනිමින් සිටි නමුත්, කෙමෙන් අප එකිනෙකාගේ සමාගමය ප්‍රිය කරන මිතුරන් බවට පත් වුනා. ඔහුගේ බුද්ධිමත්බව සහ දැනුම හඹා යාමේ ලොල් බව නිසා අපි සියල්ලෝ ඔහුව ප්‍රිය කළා. මම අර්නෙස්ටෝගේ සහෝදරයාගේ පුස්තකාලයට නිතර නිතර ගියා. බොහෝ පොත්වල පළමු කියවන්නා වූයේ අර්නෙස්ටෝ. දෙවැනි කියවන්නා වූයේ මමයි. හැම ආකාරයකින්ම සුවිශේෂී වූ අනාගත ජීවිතය වෙනුවෙන් කිසියම් වූ බුද්ධිමය ඉවක් චේ ළඟ තිබුනාය කියා මට හිතෙනවා.

ඔහු අපිත් එක්ක රට තුළට ගියපු සංචාර වලින් සතුටු වුනා. ඉගෙන ගත්තා. පස්සෙ කාලෙක අපි දෙන්නා මහාද්වීපය හරහා ගිය ප්‍රකට මෝටර් සයිකල් සංචාරයට මේ හැම මුල් කාලීන අත්දැකීමක්ම උදවු වුනා. ඊටත් අවුරුදු ගානකට පස්සෙ සටන් බිමේ ගරිල්ලාවෙකු විදිහට චේ කළ වැඩ කොටසෙදි වුනත් මේ සවාරි වලින් ලැබුණු පන්නරය වැදගත් වුනා. උදාහරණයකට, ඉතාම අඩු ආම්පන්න ගණනකින් ටෙන්ට් එකක් (කූඩාරමක්) අටවා ගන්නා විදිහ ගැන මුල්ම පාඩම අපි ඉගෙන ගත්තේ මේ සංචාර වලින්. ඒවා ඒ දිනවල හුදෙක් එකාකාරී එදිනෙදා නාගරික ජීවිතයෙන් පළා යන්න කරපු ''කොලු වැඩ'' වුනත්, අපිත් නොදැනුවත්වම අපේ ඉලක්ක වලට යන්නට ඒවා උදවු වුනා.


ඉතිරිටිකත් කියවන්න 




1946 දී අර්නෙස්ටෝ ග්වාරා උසස් විද්‍යාලයෙන් ලැබූ අධ්‍යාපනය නිමා කළේය. ග්වාරා පවුල බුවර්නෝස් අයර්ස් නුවර පදිංචිය පිණිස පැමිණි අතර, එහි දී අර්නෙස්ටෝ සිය වෛද්‍ය අධ්‍යාපනය ඇරඹීය.

ඇල්බර්ටෝ ග්‍රෙනාඩෝස් [ALBERTO GRANADOS] මෙසේ කියයි:

අපි හැමෝම හිතුවේ ඔහු වැඩියෙන්ම දක්ෂ වුනේ ගණිතයට නිසා, ඉංජිනේරු අංශයේ උසස් අධ්‍යාපනය තෝරා ගනීවිය කියලා. ඒ වෙනුවට ඔහු වෛද්‍ය විද්‍යාලයේ ලියා පදිංචි වුනාය කිවුවහම අපි හැමෝම පුදුම වුනා. ඉගෙන ගන්නා අතරේ අර්නෙස්ටෝ නගර සභාවට සම්බන්ධ අර්ධ කාලීන රැකියාවක් කෙරුවා. ඒ අතරේම අසාත්මිකතා පර්යේෂණ ආයතනයකත් ස්වේච්ඡා පදනමෙන් වැඩ කළා.

වයස 18 ක් පමණ වූ විට එවකට වූ ආජන්ටිනියානු නීතියට අනුකූලව අර්නෙස්ටෝ අනිවාර්ය යුද හමුදා සේවය සඳහා ලියාපදිංචි විය. එහෙත්, පරීක්ෂණ වලින් අනතුරුව, හමුදා වෛද්‍යවරු ඇදුම රෝගය නිසා ඔහු කිසිදු අන්දමක හමුදා සේවයක යොදා ගැනීමට නුසුදුසු බැව් නිර්දේශ කළහ. 

හැම විවේක දිනයකම අර්නෙස්ටෝ කළේ සොයා ගත හැකිව තිබූ ඕනෑම ක්‍රමයකින් සංචාරය කිරීමය. විටෙක පයින්. තවත් විටෙක කුඩා මෝටරයක් සවි කළ බයිසිකලයකින්. මෙලෙස ඔහු ආජන්ටිනාවේ විවිධ පළාත්හී සංචාරයේ යෙදුනේය. තවත් විටෙක ඔහු වෙළඳ මුහුදු යාත්‍රාවකට බැඳී කැරිබියන් මුහුදේ සංචාරය කළ අතර එය අර්නෙස්ටෝ මවුරටෙන් බැහැර ගිය මුල්ම අවස්ථාව විය.

ඇල්බර්ටෝ ග්‍රෙනාඩෝස්
 


 චේ [CHE] මෙසේ කියයි:

කියුබාවෙදිවත් මම ගිය වෙනත් රටකදීවත්, කිසිම තැනකදී මට මම විදේශිකයෙක් ය කියලා හැඟීමක් ඇති වුනේ නෑ. ගෝතමාලාවේදී ගෝතමාලානියානුවෙක් විදිහටත්, මෙක්සිකෝවේදී මෙක්සිකානුවෙකු විදිහටත්, පීරුවල දී පීරුවියානුවෙකු විදිහටත් දැනුනා. හරියටම මේ දැන් මම කියුබාවේ ඉන්දැද්දි කියුබානුවෙක් විදිහට දැනෙනවා වගේම. ඒත් ඒ හැම තැනකදීමත්, මට මම ආජන්ටියානුවෙක්ය කියන හැඟීමත් එහෙමම තිබුනා.

ඇල්බර්ටෝ ග්‍රෙනාඩෝස් [ALBERTO GRANADOS] මෙසේ කියයි:

අර්නෙස්ටෝ එයාගෙ යාලුවන්ට මෙහෙම කිවුවා.

''ඔයාලා මෙහෙ ඉඳන් විභාග තුනක් කවර් කරන්න සූදානම් වෙනවා. ඒ වෙනුවට මම සැලසුම් කරන්නෙ තාමත් රටේ යන්න බැරි වුනු පළාත් තුනක් කවර් කරන්න! ඒත් මේ සංචාර අස්සෙම ඔයාලා වගේම විභාග තුන සමත් වෙන්නත් මට ඕනෑ.''

ඇත්තටම ඔහු ඒ දේ කළා. එයා සැලසුම් කරපු ප්‍රදේශත් කවර් කළා. විභාගත් කවර් කළා ඉහළින්ම. සමහර විට ඕනෑවටත් වඩා හොඳින්. අර්නෙස්ටෝ හිතුවේ තමන්ට ලැබෙන ග්‍රේඩ් එක (ශ්‍රේණිය) ගැන නෙමේ. ලැබෙන ඉහළ ලකුණු ගණන නෙමේ. ඒ වෙනුවට ඔහු තමන්ට ප්‍රයෝජනවත් දේවල් ඉගෙන ගෙන දැන ගැනීමේ අවංක උවමනාවකින් වැඩ කළා.


ලතින් ඇමරිකාවේ සංචාරය කරලා, මේ අපූරු මහද්වීපයේ සුන්දරකමත්, ඒකට යටින් හැංගිලා තිබ්බ මිනිස්සුන්ගෙ දුක්බර ජීවන රටාවත් හොයා ගෙන යාමේ හීනයක් දිග කාලයක් තිස්සේ අපි ඇතුළේ තිබුනා. සති අන්තයක, එහෙම නැත්නම් කුඩා චාරිකාවක දී කඳුකරයේ ගෙවූ රාත්‍රියක, මමයි අර්නෙස්ටෝයි මගේ අනික් සහෝදරයෝයි එක්ක මේව ගැන කතා කළා කෙළවරක් නැතුව. අපේ අනාගත චාරිකාවේ මුල්ම සැලසුම් ක්‍රම ක්‍රමයෙන් හැදෙන්නට වුනා.

1951 දෙසැම්බර් 29 දා, අර්නෙස්ටෝ ග්වාරා, ඇල්බර්ටෝ ග්‍රෙනාඩෝස් සමග මෝටර් සයිකලයේ නැගුනේ, දීර්ඝ වූ ද වෙහෙසකර වූ ද, පසු කලෙක ලෝක ප්‍රකට වූ මෝටර්-සයිකල් චාරිකාව අරඹනු පිණිසයි. තරුණ අර්නෙස්ටෝ ග්වාරා, පසුව ලෝකය හඳුනාගත් චේ ග්වාරා නම් වූ විප්ලවවාදියා බවට රූපාන්තරණය කළා වූ හැරවුම් ලක්ෂ්‍යය මේ ගමනයි. ඔවුන්ගේ මුල් සැලැසුම වූයේ පැසිෆික් වෙරළ තීරයේ මුළු දුර ආවරණය කිරීමයි.

ඇල්බර්ටෝ ග්‍රෙනාඩෝස් [ALBERTO GRANADOS] මෙසේ කියයි:
සංචාරය පුරාවට අපේ මෝටර් සයිකලය කිසිම ලෙඩක් නොදී දිව්වා නම් මේ චාරිකාව මේ තරම් වටිනා අගනා අත්දැකීමක් නොවෙන්න හොඳටෝම ඉඩ තිබුනා. ඒත්, එහෙම වුනේ නෑ. චිලියේ සැන්ටියාගෝවට ළං වෙන්න ඔන්න මෙන්න තියෙද්දි, සයිකලේ තවත් දුරනං යන්ඩ බෑ කියන්ඩ ගත්තා. ඒ වෙද්දි සැලසුම් කරපු දුරෙන් අටෙන් එකක්වත් අපි කවර් කරලා තිබ්බෙ නෑ. එතනදි තමා අපි දෙන්න එයාව මග අතරමං කරලා දාලා අපේ ගමන ඉදිරියටම යන්න ඕනෙ කියන දුක්බර තීරණයට ආවේ. ''සයිකලයෙන් බැහීම'' තමා අපේ චාරිකාවෙදි අපිට මිනිස්සු අඳුනා ගන්න ඉඩ සැලැස්සුවේ. අපි අතට අහුවෙන හැම රැකියාවක්ම කර කර, අපේ චාරිකාවේ ඉතිරි කොටස සම්පූර්ණ කරගන්න මුදල් හෙවුවා. අපි ට්‍රක් රියදුරන් විදිහට, නාට්ටාමිලා විදිහට, පිඟන්
සෝදන්නො විදිහට, නාවිකයන් විදිහට කොටින්ම වෛද්‍යවරු විදිහට පවා වැඩ කෙරුවා.

පරිවර්තනය - කූඹියා

0 ප්‍රතිචාර: