13.12.10

මිනිසෙක් මිය යා යුත්තේ කුමක් වෙනුවෙන් ද?

VIVA CHE!
[1 කොටස]
Andrew Sinclair 
විසින් සංස්කරණය කරන ලද,
VIVA CHE!
[The Strange Death and Life of Che Guevara] 
කෘතියෙහි පරිවර්තනය
 
මිනිසෙක් මිය යා යුත්තේ කුමක් වෙනුවෙන් ද?
1.හැඳින්වීම...

''චේ ග්වාරා'' යන්න බිහි වූයේ ඒ නමේ අයිතිකරුවාගේ උපතින් නොවේ. චේ යනු චේ තුළින් ම එනම් ඔහුගේ ජීවිතය තුළින්ම පැන නැගුනු කිසිවක් විය. චේ වෙනත් කිසිදු විප්ලවවාදියෙකුට යා නොහැකි දුරක් ගමන් කළේය. ඔහු කියූ දේ එපරිද්දෙන් කළ මිනිසෙකු විය. බෙදුණු දකුණු ඇමරිකානු මහාද්වීපයේ අවාසනාවන්ත ඉරණම වෙනස් කිරීමටත්, එහි එක්සත්භාවයත් වෙනුවෙන් එතරම් පරමාදර්ශී කාර්ය භාරයක් ඉටු කළ වෙනත් කිසිවෙකු නොවීය. ඔහු ඒ බව ස්වකීය ජීවන භාවිතාවයෙන් පමණක් නොව, මරණයෙන් ද සනාථ කළේය. චේ, හැර දැමිය නොහැකි මතකයක් බවට පත් වූ වචනයෙන් විස්තර කළ නොහැකි අප්‍රමාණ මිනිසෙකු විය. වරෙක ජීන් පෝල් සාත්‍රේ ''චේ යනු මේ කාලයේ විසූ ඉතාම පරිපූර්ණ මිනිසා'' ලෙස හැඳින්වූයේ එහෙයිනි.
          චේ බොහෝ හැකියාවන් එක් කොට තැනුනු පුදුම යන්ත්‍රයකි. වෛද්‍යවරයෙක් ලෙස, අර්ථ ශ්‍රාස්ත්‍රඥයෙකු ලෙස, රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස, තානාපතිවරයෙකු ලෙස, උපාය සැලසුම්කරුවෙකු ලෙස, ලේඛකයෙකු ලෙස සහ ඉතාම ප්‍රකට ව ඇති පරිදි සටන් කරුවෙකු ලෙස චේ ඇදැහිය නොහැකි තරමට වෘත්තීමය විය.

ඔහු, ඔහු නියැළුණු ඕනෑම කටයුත්තක පරම අවසානය දැකීමේ පිපාසයකින් පෙළුණේය. චේගේ ඉතාම ප්‍රකට කියමනක එන පරිදි, ''ජනතාව වෙනුවෙන් වැඩ කිරීම, මිනිසෙකුට ලැබිය හැකි උතුම්ම සතුට ය.'' යන්න ඔහු සම්බන්ධයෙන් ඉතාම නිවැරදි විය. කිසිවෙකු කරනා කාර්යයකට තව කෙනෙකු හිලවු කළ නොහැකි බව ඔහු ඇදහූ අතර එය තමන්ටම යොදා ගත්තේය. තමා විශ්වාස කළ සත්‍යයන් වෙනුවෙන් තමා ම පෙනී සිටියා පමණක් නොව ඒ වෙනුවෙන් සිය ජීවිතය පුද කළේය.